අවාරයේ ශ්‍රීපාද කන්ද කරුණා කිරීම සඳහා අවසර ලබා දෙන්නේ නල්ලතන්නිය-හැටන් සහ රත්නපුර-ශ්‍රී පලාබද්දල යන මාර්ග දෙකෙන් පමණක් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කරනවා. ඒ සඳහා නල්ලතන්නිය හෝ ශ්‍රී පලාබද්දල යන අදාළ වනජීවී කාර්යාලවලින් අනිවාර්යයෙන්ම ප්‍රවේශපත්‍ර ලබාගත යුතු අතර, වලංගු ප්‍රවේශපත්‍රයක් නොමැතිව අවාරයේ සිරිපා පරිශ්‍රයට ඇතුළු වීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි වනජීවී දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ. දේශීය සංචාරකයන් වෙනුවෙන් තනි පුද්ගලයකු හෝ දස දෙනකු දක්වා කණ්ඩායමක් සඳහා ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් දහසක් වන අතර, කණ්ඩායමේ සාමාජිකයන් ගණන දස දෙනකුට වඩා වැඩි නම්, වැඩිවන සෑම අතිරේක පුද්ගලයකු සඳහාම රුපියල් සියය බැගින් අමතර ගාස්තු ගෙවිය යුතුය.
අවාරයේ කරුණා කරන වන්දනාකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තොරතුරු ලබා ගැනීම ද අනිවාර්ය කර තිබේ. ඒ අනුව දෙදෙනකු හෝ ඊට වැඩි පිරිසක් ගමන් කරන්නේ නම්, ඔවුන්ගේ සම්පූර්ණ නම්, ලිපිනයන්, ජාතික හැඳුනුම්පත් අංක (NIC) සහ දුරකතන අංක ඇතුළත් පැහැදිලි ලේඛනයක් වනජීවී කවුන්ටරය වෙත ලබා දිය යුතු අතර, තනි පුද්ගලයකු නම් තමාගේ එම පෞද්ගලික තොරතුරු අදාළ කවුන්ටරය වෙත වාචිකව හෝ ලබා දීමට පියවර ගත යුතුය. මෙම නීති මාලාවට අනුව කුරුවිට-එරත්න, දෙහෙනකන්ද-මුක්කුවත්ත, දැරණියගල-උඩමාලිබොඩ සහ මරේවත්ත-සඳගලතැන්න යන සෙසු මාර්ගවලින් ශ්‍රීපාදය වෙත ගමන් කිරීම සපුරා තහනම් කර ඇත.
මීට අමතරව, අවාරයේ සිරිපා ගමනේදී මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම්වැටි රැගෙන යාම හෝ භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, එවැනි ද්‍රව්‍ය සන්තකයේ තබා ගන්නා පුද්ගලයන්ට එරෙහිව තදින්ම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා තිබේ. අවාරයේ සිරිපා සංචාරය කිරීමට පෙර මෙම නිසි අවසරය ලබාගෙන පරිසරයට හානි නොවන අයුරින් වගකීමෙන් යුතුව හැසිරිය යුතු බව පවසන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් 0457284867 යන දුරකතන අංකය ඇමතීමෙන් ලබාගත හැකි බව දන්වා සිටියි.
















