ආබාධ සහිත දරුවන්ගේ අධ්‍යාපනික හා වෘත්තීය කුසලතා සංවර්ධනය කිරීම ඉලක්ක කර ගනිමින් ස්ථාපිත කර ඇති ළමා මාර්ගෝපදේශන හා පූර්ව වෘත්තීය කුසලතා මධ්‍යස්ථාන සඳහා නව පෙර පාසල් ගුරුවරුන්ට පත්වීම් ප්‍රදානය කිරීමේ විශේෂ උත්සවයක් පසුගියදා සමාජ සේවා දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණා. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් ප්‍රදානය සිදු කෙරුණි. දැනට මෙම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් ආබාධ සහිත දරුවන් වෙනුවෙන් ළමා මාර්ගෝපදේශන හා පූර්ව වෘත්තීය කුසලතා සංවර්ධන මධ්‍යස්ථාන දෙකක් සහ පූර්ව වෘත්තීය කුසලතා සංවර්ධන මධ්‍යස්ථානයක් සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතී.
වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘එක්ව අත්නොහැර’ ජාතික ප්‍රතිපත්තියට අනුව මෙම සේවාවන් සමස්ත ලාංකීය සමාජය වෙතම ව්‍යාප්ත කිරීම රජයේ අරමුණ වී තිබේ. ඒ අනුව දිවයින පුරා විශේෂ කුසලතා සංවර්ධන දිවා සුරැකුම් මධ්‍යස්ථාන 25ක් අලුතින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, එහි පළමු අදියර යටතේ 2026 වර්ෂය තුළදී පමණක් මධ්‍යස්ථාන 10ක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
මෙලෙස අලුතින් ආරම්භ කිරීමට නියමිත මධ්‍යස්ථානවල කටයුතු වඩාත් විධිමත්ව පවත්වාගෙන යාම සඳහා පෙර පාසල් ගුරුවරුන්, උපස්ථායක සේවකයන් මෙන්ම කාර්යාල කාර්ය සහායකයන් ද ස්ථීර හා දෛනික පදනම මත බඳවා ගැනීමට කටයුතු සූදානම් කර ඇති බව ද ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
















