ලෝක දේශපාලන කරළියේ දැඩි අවධානයක් දිනාගනිමින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් දෙදින නිල සංචාරයක් සඳහා අද (19) චීනයේ බෙයිජිං නුවර වෙත ළඟා වී තිබේ. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චීන සංචාරය නිමා වී සතියක් ගතවීමටත් පෙර රුසියානු ජනපතිවරයා මෙලෙස චීනයට පැමිණීම විශේෂත්වයකි.
චීන ජනාධිපති ෂී ජින්පින් මහතා කළ විශේෂ ආරාධනයකට අනුව සිදුකෙරෙන මෙම සංචාරය, ව්ලැද්මීර් පුටින් මහතා චීනය වෙත පැමිණි 25 වැනි රාජ්‍ය තාන්ත්‍රික සංචාරය ලෙස ඉතිහාසයට එක් වේ.
ට්‍රම්ප් සහ පුටින් යන ලෝකයේ බලගතුම රාජ්‍ය නායකයින් දෙපළක් සතියක කාලයක් තුළ සිය රටට ගෙන්වා ගැනීම හරහා, වර්තමාන ගෝලීය අර්බුද හමුවේ චීනය ලෝක දේශපාලනයේ ස්ථාවර සහ විශ්වාසවන්ත මධ්‍යස්ථ බලවතෙකු ලෙස නැගී සිටින බව පෙන්වීමට බෙයිජිං පරිපාලනය මෙහිදී උත්සාහ දරයි. මෙම හමුව හරහා බටහිර බලපෑම් හමුවේ වුවද දෙරට අතර පවතින “නොබිඳෙන සබඳතාව” ලෝකයටම ප්‍රදර්ශනය කෙරේ.
බටහිර සම්බාධක හමුවේ රුසියාව චීනය සමඟ තවදුරටත් බලශක්ති සහ ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණකි. ඒ අනුව, දීර්ඝ කාලීනව සැලසුම් කෙරෙන “Power of Siberia 2” දැවැන්ත ස්වාභාවික ගෑස් නල මාර්ග ව්‍යාපෘතිය (Gas Pipeline) පිළිබඳව දෙරටේ රාජ්‍ය නායකයින්ගේ විශේෂ අවධානයක් යොමු වනු ඇති බව වාර්තා වේ.
චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ මෙම සංචාරයේදී නායකයන් දෙපළ ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ජාත්‍යන්තර සහ කලාපීය ගැටලු පිළිබඳව පුළුල් ලෙස අදහස් හුවමාරු කරගැනීමට නියමිත බවයි.














