මෑතකදී සිදුවූ ඉන්ධන මිල සංශෝධනය හේතුවෙන් බස් ගාස්තුවල කිසිදු වැඩිවීමක් සිදු නොවන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අවධාරණය කරයි. වත්මන් බස් ගාස්තු සංශෝධන සූත්‍රයට අනුව, ගාස්තු සංශෝධනයක් සඳහා බලපාන අවම සීමාවට වඩා ඉන්ධන මිල වැඩිවීමක් මෙවර සිදු නොවූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කරයි.
පවත්නා නීතිමය රාමුවට අනුව, ඉන්ධන මිල සියයට 4කට වඩා වැඩි ප්‍රතිශතයකින් වෙනස් වුවහොත් පමණක් බස් ගාස්තු සංශෝධනයක් පිළිබඳව සලකා බැලිය හැකිය. කෙසේ වෙතත්, මෙම සතියේ සිදු වූ ඉන්ධන මිල ඉහළ යාම එම සියයට 4ක සීමාව ඉක්මවා නොමැති බැවින්, මේ අවස්ථාවේදී බස් ගාස්තු සංශෝධනයක් කිරීමට කිසිදු පදනමක් නොමැති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
















