ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය නිෂ්පාදන සහ අපනයන ක්ෂේත්‍රයේ ගැටලු විසඳීම සහ එම කර්මාන්තය දියුණු කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අමාත්‍යාංශයේදී පැවැත්විණි. ජාතික ජලජ සම්පත් සංවර්ධන අධිකාරිය (NAQDA) හරහා ක්‍රියාත්මක වන මෙහෙයුම් සැලැස්ම කඩිනම් කිරීමට මෙහිදී තීරණය කෙරිණි.
පසුගිය කාලයේ පැවති සීමාවන් හේතුවෙන් මතු වූ ගැටලු නිරාකරණය කිරීම සඳහා නව සහ විනිවිද පෙනෙන ආනයන යාන්ත්‍රණයක් හඳුන්වා දෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව, ව්‍යාපාරික අවශ්‍යතා මත මත්ස්‍ය විශේෂ නීත්‍යානුකූලව ආනයනය කිරීමට ව්‍යවසායකයින්ට අවසර ලැබෙනු ඇති අතර, තහනම් මත්ස්‍ය විශේෂ ලැයිස්තුව සංශෝධනය කිරීමේදී කර්මාන්ත පාර්ශ්වකරුවන්ට සිය අදහස් විශේෂඥ කමිටුවක් හමුවේ ඉදිරිපත් කිරීමට ද අවස්ථාව සැලසෙනු ඇත.
‘ඩිත්ව’ සුළි කුණාටුවෙන් හානියට පත් කුඩා පරිමාණ නිෂ්පාදකයින් වෙත සහන සැලසීමට ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. මසුන්ට අවශ්‍ය ආහාර මිලදී ගැනීමට පවා අපහසුතාවට පත්ව ඇති පීඩාවට පත් වගාකරුවන් සඳහා රුපියල් 75,000ක් සහ රුපියල් 50,000ක් වශයෙන් මූල්‍ය ආධාර කඩිනමින් ලබා දෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා නිවේදනය කළේය.
මීට අමතරව, කර්මාන්තයේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට සහ මතුවන ගැටලු නිරාකරණය කර ගැනීමට සෑම මාස දෙක තුනකට වරක්ම කර්මාන්ත පාර්ශ්වකරුවන් සමඟ සෘජුව සාකච්ඡා කිරීමට ද එකඟතාව පළ විය.














