රට ක්රමානුකූල සැලැස්මකට ඉදිරියට යද්දී ඇතැම් පිරිස් කලබල වී ඇති බවත්, ආණ්ඩුවේ ජනතාවාදි ගමන අඩාළ කිරීමට විවිධ කණ්ඩායම් මැදිහත්වෙමින් සිටින බවත් බුද්ධශාසන, ආගමික හා කලා කටයුතු නියෝජ්ය ඇමැති ගමගේ දිසානායක මහතා පැවසීය.
මධ්යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව සහ නාඋල ප්රාදේශීය සභාව එක්ව බෝවතැන්න ජලාශය කේන්ද්ර කර ගනිමින් ක්රියාත්මක බෝට්ටු සේවාවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් නියෝජ්ය ඇමැතිවරයා පසුගියදා (18) මෙම අදහස් පළ කර ඇත. සංචාරක ව්යාපාරය සංවර්ධනය කිරීමේදී ආයතන සියල්ලේ සංකලනයක් අවශ්ය බව පෙන්වා දුන් ඒ මහතා, රටේ ඉදිරි ගමන අඩාළ කිරීමට පසුපසින් සිටින කණ්ඩායම් සහ ඔවුන්ගේ අරමුණු සම්බන්ධයෙන් විමසා බැලිය යුතු කාලය පැමිණ ඇති බවද අවධාරණය කළේය. මාතලේ – ලග්ගල පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් හේමන්ත සහ දඹුල්ල පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් බියන්වල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.














