27 April 2024
#දේශීය

හැකියාවන් වර්ධනය කර ගනිමින් වෘත්තීය ජීවිතයේ ඉදිරියටම යන්න- විසිර යන ගුවන් නිලධාරීන්ට ජනපති කියයි

හැකියාවන් වර්ධනය කර ගනිමින් වෘත්තීය ජීවිතයේ ඉදිරියටම යෑම තරුණ නිලධාරීන්ගේ යුතුකම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ අද (29) පෙරවරුවේ පැවති ගුවන් හමුදා වරලත් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලිය අමතමිනි.

දැනුම අඛණ්ඩව වැඩිදියුණු කිරීමට කුසලතා වර්ධනයෙන් සහ අත්දැකීම් තුළින් ලබා දෙන පාඩම් ඉගෙනීමට වෙහෙසී ක්‍රියා කළයුතු බව ජනාධිපතිවරයා කියා සිටියේය.

වසර 70කට අධික කාලයක් ගුවන් හමුදාව මාතෘභූමියට ලබාදුන් සේවය හා ජාතිය ගොඩනැගීමේ දී මෙන්ම ජාතික ආරක්ෂාව පවත්වාගෙන යාමේ දී කළ මෙහෙවර ජනාධිපතිවරයා විසින් ඇගයීමට ලක් කෙරිණ.
හමුදාවේ තාක්ෂණික හස්තයක් ලෙස ගුවන් හමුදාවෙන් පූර්ණ නිපුණත්වයක් අපේක්ෂා කෙරේ. ඒ සඳහා නව්‍ය තාක්ෂණයෙන් ගුවන් හමුදා නිලධාරීන්ගේ වෘත්තීයභාවය නිතැතින් පරිපූර්ණ විය යුතුය. නිලධාරීන්ගේ අවංකභාවය සහ විනය තුළ ඇති වටිනාකම පෙන්වා දුන් ජනාධිපතිවරයා තම නායකත්වය යටතේ සිටින සෙසු නිලයන් කෙරෙහි පවතින අව්‍යාජ සැලකිල්ල මත ප්‍රබල බලපෑමක් ඇති කළ හැකි බව පැවසීය. ඔවුන්ගේ යහපැවැත්ම සහ සාර්ථකත්වය වෙනුවෙන් අවංකවම කැපවීමෙන් ඔවුන්ට හැකි සෑම දෙයක්ම නිලධාරීන් වෙනුවෙන් ඉටුකරන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පාඨමාලා කාණ්ඩ 06ක් යටතේ වසර තුන හමාරත්, හතර හමාරත් අතර කාල පරාසයක් තුළ පුහුණුව නිම කළ කෙඩෙට් නිලධාරීහු 153 ක් අධිකාරියට පත්ව අද විසිර ගියහ. ගුවන් හමුදා ඉතිහාසයේ නිලධාරීන් වැඩිම සංඛ්‍යාවක් එකවර විසිර ගිය පළමු අවස්ථාව ලෙස මෙය සනිටුහන් කෙරේ.

ගුවන් හමුදා පියාසර කෙඩෙට් නිලධාරීහු විසි දෙදෙනෙකුට හා කාන්තා පියාසර නිලධාරිනියන් හය දෙනෙකුට ජනාධිපතිතුමා විසින් පියාසර නිල ලාංඡනය පැළඳවිණ. සියලුම පාඨමාලාවන්හි විශිෂ්ඨ දක්ෂතා දැක්වූ කෙඩෙට් නිලධාරීහු 14 දෙනෙක් ජනාධිපතිවරයා අතින් සම්මාන ලබා ගත්හ.

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ යන මහත්වරු, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෝ, නිලධාරීහු, සෙසු නිලයෝ, නව නිලධාරින්ගේ ඥාතීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *