බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත් වූ බරණැස සාරනාත් පුදබිමේ ධම්මික ස්තූපය (Dhamek Stupa) ලෝක උරුමයක් ලෙස නම් කිරීම සම්බන්ධයෙන් යුනෙස්කෝ සංවිධානයට සහ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රමුඛ ඉන්දීය රජයට ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සිය පුණ්‍යානුමෝදනා පූර්වක කෘතඥතාව පළ කර තිබේ.
ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක සාංචි චේතියගිරි විහාරාධිපති බානගල උපතිස්ස නාහිමියන් විසින් මෙම කෘතඥතාව ප්‍රකාශ කර ඇති අතර, ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් (ශ්‍රී දේවමිත්ත ධම්මපාල හිමියන්) ඉන්දියාවේ බුදු දහම නඟාසිටුවීමට සහ සාරනාත් පුදබිම යළි ලෝක බෞද්ධ ජනතාවට උරුම කර දීමට කළ ඓතිහාසික මෙහෙවර මෙහිදී උන් වහන්සේ සිහිපත් කර ඇත. සාරනාත් පුදබිම ලෝක උරුමයක් බවට පත් කිරීමට කැප වූ ඉන්දීය අගමැතිවරයාට සහ යුනෙස්කෝ මහ ලේකම් Khaled El-Enany මහතාට ශ්‍රී ලංකාව ඇතුළු ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ස්තූතිය හිමි වන බව නාහිමියෝ වැඩිදුරටත් සඳහන් කර සිටිති.














