වෙසක් මංගල්‍යය ආශ්‍රිත බොදු සංස්කෘතිය, බුද්ධ ශාසනයේ උන්නතිය සහ එම මහා සංස්කෘතිය මතු පරපුරට දායාද කිරීම වටා ගොඩනැගී පවතින බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දිලිත් ජයවීර මහතා පවසයි.
වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙරට බුද්ධ ශාසනයට විවිධ අභියෝග එල්ල වී ඇති වත්මන් අවදියේ, සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය මෙනෙහි කරමින් ඊට අනුකූලව සිය ජීවිත සකසා ගැනීමට බෞද්ධ ප්‍රජාව අධිෂ්ඨාන කරගත යුතු බවයි. සම්මා සතිය සහ සම්මා දිට්ඨිය මත පිහිටා කටයුතු කළ යුතු මෙම යුගයේදී, එම මඟ පෙන්වීම සඳහා උතුම් වෙසක් දිනය අවස්ථාවක් කරගන්නා ලෙසත්, සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට මෙත් සිසිලෙන් පිරි සුබ වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරන බවත් ජයවීර මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
















