හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්ව යන අවස්ථාවේදී මෙරට පැවති 70%ක උද්ධමනය, වර්තමානය වන විට 5%කට වඩා අඩු මට්ටමකට ගෙන ඒමට තම රජයට හැකි වූ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසයි. රූපවාහිනී සංවාදයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළේය.
ජනතාවට මිලදී ගැනීමේ හැකියාවක් නොමැති බවට ඉදිරිපත් වන තර්ක අසත්‍ය බව පැවසූ ඒ මහතා, වර්තමාන ආර්ථිකය යළි ගොඩනැගීමට රජය සමත් වී ඇති බව පෙන්වා දුන්නේය. ලෝක දේශපාලන සහ යුධමය අභියෝග මධ්‍යයේ උද්ධමනය මෙලෙස පහළ මට්ටමක පවත්වාගෙන යාම ඉතා සාධනීය ජයග්‍රහණයක් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් නිපුණආරච්චි මහතා සඳහන් කළේ, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉහළ යන විට මහ බැංකුවේ නිර්දේශ මත ආර්ථික අවශ්‍යතාව වෙනුවෙන් මුදල් නිකුත් කිරීමක් සිදුවන බවයි. මෙය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ සිදු වූ ආකාරයේ අත්තනෝමතික මුදල් අච්චු ගැසීමක් නොවන බවත්, සියලු මූල්‍ය කටයුතු විධිමත් මූල්‍ය පටිපාටියක් අනුගමනය කරමින් සිදු කෙරෙන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
















