දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ සිසුන් 30ක පමණ පිරිසක් ඊයේ (04) උදෑසන බඹරු දෂ්ට කිරීම හේතුවෙන් අරලගංවිල රෝහලට ඇතුළත් කර තිබේ. බඹරුන්ගෙන් සිසුන් බේරාගැනීමට ගිය විද්‍යාලයේ විදුහල්පතිනිය සහ අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද බඹර ප්‍රහාරයට ලක්ව රෝහල්ගත කර ඇති බව අරලගංවිල පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේදී විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අතර, මෙම බඹර ප්‍රහාරය හේතුවෙන් උත්සවය ද තාවකාලිකව නතර කිරීමට සිදුව ඇත. විද්‍යාලයේ ගොඩනැඟිල්ලක බැඳ තිබූ බඹර කූඩු කිහිපයක් අනපේක්ෂිත ලෙස ඇවිස්සීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, පසුව අරලගංවිල විශේෂ කාර්ය බළකාය (STF) සහ පොලිසිය එක්ව බඹර කූඩු ඉවත් කර තත්ත්වය පාලනය කිරීමට පියවර ගෙන තිබේ. රෝහල්ගත කළ සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ නොවන බව අරලගංවිල රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
















