ගෝලීය උණුසුම ඉහළ යාම නිසා ඇති වී තිබෙන දේශගුණික විපර්යාස හමුවේ ශ්‍රී ලංකාවට ඉදිරියේදී බරපතල ආපදා තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසයි. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අදහස් දක්වමින් ඔහු මේ බව අනාවරණය කළේය.
ආපදා සහන කටයුතු ක්‍රියාත්මක කිරීමේදී පවතින ප්‍රධාන ගැටලු කිහිපයක් පිළිබඳව ඒ මහතා කරුණු පෙන්වා දෙයි. ‘දිට්වා’ වැනි සුළි කුණාටු තත්ත්වයකදී වුවද කටයුතු කිරීමට තම ආයතනයේ සිටින සේවක පිරිස ප්‍රමාණවත් නොවන බවත්, හදිසි මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට රාත්‍රී රාජකාරි සඳහා අවශ්‍ය නවාතැන් පහසුකම් පවා නොමැති බවත් ඔහු සඳහන් කරයි.
දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වන ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක සවස 4.30න් පසු වසා දැමීම හේතුවෙන් රාත්‍රී කාලයේදී ආපදාවක් සිදුවුවහොත් නිලධාරීන් කැඳවීමට විශාල කාලයක් ගතවේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC) ඒකාබද්ධ කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබුණද, එම ක්‍රියාවලිය සඳහා කාලයක් ගතවන බැවින් ඒ අතරතුර ආපදාවක් ඇති වුවහොත් දැඩි අපහසුතාවයකට පත්වන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.
එමෙන්ම, අන්දමන් දූපත් ආශ්‍රිතව සුනාමියක් ඇති වුවහොත් මිනිත්තු 40ක් වැනි කෙටි කාලයක් තුළ රළ පහර ලංකාවට ළඟා වන බවත්, එම කාලය තුළ වෙරළබඩ ජනතාව මිලියන 3.8ක් ඉවත් කිරීම අතිශය දුෂ්කර මෙහෙයුමක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. ලෝකයේ අනෙක් රටවල් තාක්ෂණය හා සම්පත් යොදවමින් ආපදා කළමනාකරණය ශක්තිමත් කළද, ශ්‍රී ලංකාවේ එම ක්‍රියාවලිය ඉතා මන්දගාමීව සිදුවීම බරපතල කාරණයක් බව ඔහු වැඩිදුරටත් පැවසීය.















