පානදුර සහ කළුතර පොලිස් කොට්ඨාසවල පසුගිය කාලය පුරා සිදුවූ ඝාතන රැසක් සඳහා යතුරුපැදි සැපයූ බව කියන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
‘වලපල පසියා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 24 හැවිරිදි මෙම සැකකරු, විදේශගතව සිටින ‘ඩුබායි සුද්දා’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයෙකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී යතුරුපැදි දෙකක්, ඒවා සඳහා අවශ්‍ය ආරක්ෂක හිස් වැසුම් හා ජැකට් යුගල බැගින්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් සහ හෙරොයින් ග්‍රෑම් 5කට අධික ප්‍රමාණයකට අමතරව මුහුණ සම්පූර්ණයෙන්ම වැසෙන පරිදි සකස් කළ ‘නින්ජා’ කට්ටල දෙකක් සහ ජංගම දුරකථන පොලිස් භාරයට ගැනිණි.
පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ කරුණු අනුව, සැකකරු ඩුබායි සුද්දාගේ උපදෙස් මත ඝාතන සඳහා යොදා ගැනීමට නියමිතව තිබූ යතුරුපැදි දෙකක් පින්නවල ප්‍රදේශයේ කාර්මිකයෙකු වෙත ලබා දී ඒවායේ වර්ණය වෙනස් කර, වේගය වැඩිකර සකස් කරගෙන තිබේ. මෙම යතුරුපැදිවල එන්ජින් සහ චැසි අංක මකා දමා තිබීම විශේෂත්වයකි. සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමඟ එදින සිදුකිරීමට නියමිතව තිබූ ඝාතන කිහිපයක් වළක්වා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
පානදුර කුඩු සළින්දුගේ කළුතර නවීන් නමැති අයගේ ඝාතනය ඇතුළු පසුගිය කාලයේ සිදුවූ ඝාතන රැසක් සඳහා මොහු යතුරුපැදි සපයා ඇති බවට තොරතුරු ලැබී ඇති අතර පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.















