ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර පිහිටි ධවල මන්දිරය (White House) අසළ සිදුවූ වෙඩි තැබීමකදී, සන්නද්ධ සැකකරුවෙකුට එරට ආරක්ෂක අංශ විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව සෙනසුරාදා (23) පස්වරුවේ මෙම තීරණාත්මක සිදුවීම සිදුව ඇත.
ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සැකකරු වහාම රෝහල්ගත කිරීමට පියවර ගත්ත ද, ඉන් අනතුරුව ඔහු මියගොස් ඇති බව තහවුරු කර තිබේ.
ධවල මන්දිරයේ ප්‍රධාන ආරක්ෂක කලාපයට අතිශය ආසන්න වීදියක මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, සිද්ධියත් සමඟ වහාම ක්‍රියාත්මක වූ ඇමෙරිකානු රහස් ඔත්තු සේවා (Secret Service) සහ පොලිස් කණ්ඩායම් එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වටලා තිබේ. ආරක්ෂක පියවරක් ලෙස ධවල මන්දිරය අවට සියලුම මාර්ග තාවකාලිකව වසා දැමීමට කටයුතු කෙරුණු අතර, පරිශ්‍රයේ ආරක්ෂාව උපරිම මට්ටමකින් තර කිරීමට පියවර ගැනුණි. සිද්ධිය වන අවස්ථාවේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරය තුළ රැඳී සිට ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සනාථ කරයි.
මෙම වෙඩි හුවමාරුව සිදුවන අවස්ථාවේදී අසල සිටි තවත් අහිංසක සිවිල් වැසියෙකුට ද වෙඩි වැදී තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තා වන අතර ඔහු මේ වන විට ප්‍රතිකාර ලබයි. කෙසේ වෙතත්, මෙම මෙහෙයුමට සම්බන්ධ වූ ආරක්ෂක අංශවල කිසිදු නිලධාරියෙකුට හානියක් සිදුව නොමැති බව වොෂින්ටන් බලධාරීන් පවසයි. සැකකරු මෙලෙස වෙඩි තැබීමට පැමිණි හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර රහස් ඔත්තු සේවා මඟින් මේ පිළිබඳව පුළුල් විමර්ශන අරඹා ඇත.














