27 April 2024
#දේශීය

බොරුවට රැවටෙන්න එපා ! – හදුන්නෙත්ති කියයි

ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂ කණ්ඩායම පාවිච්චි කළ බොරු මේ මහ මැතිවරණයේදී අතේ පත්තු වෙමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්‍ෂක සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (30) මාතර විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

එහිදී හදුන්නෙත්ති මහතා මෙසේ අදහස් පල කළේය ” ජනාධිපතිවරණයේදී කිව්වේ සෞභාග්‍යයේ දැක්ම හරහා රට හදන්න බලය දෙන්න කියලා. ඒකට මෙතෙක් දේශපාලනය කළ පාර්ලිමේන්තුවේ ඉන්න අය සුදුසු නැති නිසා පාර්ලිමේන්තුවේ සිටිය නැති කෙනෙක් ජනාධිපති කළොත් සුදුසු බවයි ජනතාවට කිව්වේ. ඒත මේ මැතිවරණයේදී කියනවා ගෝඨාභය මහත්තයට තනියෙන් මේ වැඬේ කරන්න බෑ, ඒ නිසා ඔහු සමඟ අර අලි බබා සහ හොරු හතලිහ වගේ පරණ හොරු ටිකටම බලය දෙන්න කියලා. කලින් කිව්වේ මේ ගොල්ලොත් එක්ක බැහැ ගෝඨාභයට තනියෙන් රට හදන්න දෙන්න කියලා. දැන් කියනව ඒකෙ අනෙක් පැත්ත. 2/3ක බලයක් ඕනෑ කියල දැන් කියනවා. අපූරු තර්ක හදනවා. ජනාධිපතිවරණයේදී කිව්වේ ගෝඨාභය දිනපු ගමන් එම්.සී.සී. ගිවිසුම ඉරල විසිකරනව කියලා. ඒක අහෝසි කරන්න ගෝඨාභයට විතරයි පුළුවන් ඒ නිසා ඡන්දය දෙන්න කිව්වා. දැන් කියනවා ඒක කරන්න 2/3නැතිව බැහැ පරණ සෙට් එකට ඡන්දය දෙන්න කියලා. මේ රටේ ඉතිහාසය පුරාම හැම ආණ්ඩුවක්ම බලයට එන්න පාවිච්චි කළේ මේ වගේ බොරුවම තමයි. දැන් බොරුවට එරෙහිවත් බොරුව පාවිච්චි කරනවා.

ජනාධිපතිවරණයේදී කිව්වේ මහ බැංකු හොරු අල්ලල දඬුවම් දෙන්න පුළුවන් ගෝඨාභයට විතරයි කියලා. ඒ නිසා බලය දෙන්න කිව්වා. දැන් ඒ ගැන කතාවක් නැහැ. වගේ වගක් නැහැ. නාස්තිය දූෂණය නතර කිරීමේ කතා නැහැ. ඒ ඔක්කොම යට ගිහිල්ලා. දැන් ටොප් ටෙන් කට්ටිය හොයාගන්නවත් නැහැ. දැන් 2/3 හදාගන්න හොරුත් ඒකකම එකතු වෙන්න සිද්ධවෙලා. ඉතිහාසය පුරාම හැම ආණ්ඩුවක්ම බලය ගත්තෙත් එය පවත්වාගෙන ගියෙත් ඔයවගේ බොරුවලින්ම තමයි. දැන් කොරෝනා වසංගතයත් පාවිච්චි කරමින් මේ ආණ්ඩුව බොරුව සහ වංචාව ජනගත කරමින් ඉන්නවා. වෙලාවකට කියනවා, දැන් කොරෝනා අවදානම අවසන්. ගෝඨාභය මහත්තයා එය ජයග්‍රහණය කළා කියලා. අවසන් නොකළ කාරණා ගණනාවක් තිබෙනවා. ඒවා දැන් මැතිවරණ වේදිකාවේ මාතෘකා ලෙස කතා කරනවා.

මාලිමාව නියෝජනය කරන උගතුන් බුද්ධිමතුන් වෘත්තිකයින් කලාකරුවන්, ඇතුළු සියලු දෙනා මේ මහ පොළොවේ ජනතාවත් එක්ක දිගටම වැඩ කරන අය. රඟපාන්න දවසකට දෙකකට කෝච්චිවල බස්වල යන මිනිස්සු නොවෙයි අපි. මේ රැවටීමට අපි තිත තියමු. නැත්නම් අපිට කවදාවත් ගැලවීමක් නැහැ. දැළේ බැන්ද ගොණා වගේ මේ එකම ගමන අපි නැවත නැවත යා යුතුද?

සත්‍ය දකින ජනතාව අපිව දිනවන බව අපිට විශ්වාසයි. අපි දෙන පණිවුඩය පිළිගන්නා ඔබ තවත් පිරිසකට එය රැගෙන යන්න. මාලිමාව දිනවලා රට දිනවන ජනතාව දිනවන ඒ මහා පෙරළියේ කොටස්කරුවන් බවට පත්වෙන්න කියලා අපි මේ රටේ ජනතාවට ආරාධනය කරනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *