මැදපෙරදිග පවතින අර්බුදකාරී වාතාවරණය සහ දේශගුණික විපර්යාස වැනි බාහිර සාධක හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය දැඩි අවදානමකට ලක්ව ඇති බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා පවසයි. ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සහ ACCA ආයතනය එක්ව සංවිධානය කළ වෙබ් අඩවි සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශනය පවත්වමින් ඔහු පෙන්වා දුන්නේ, මෙම අස්ථාවරත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතය එතරම් යහපත් වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවයි.
පවතින විදේශ විනිමය සංචිතවල සංයුතිය සහ ඒවායේ ප්‍රායෝගික භාවිතය පිළිබඳව ද ඔහු මෙහිදී ගැටලු මතු කළේය. මහ බැංකුව සතු සංචිත අතර පවතින චීන මහජන බැංකුවෙන් ලැබුණු යුවාන් බිලියන 1.4ක මුදල දැනට භාවිත කළ නොහැකි බවත්, ඉතිරිව ඇති ඇමරිකානු ඩොලර් බිලියන 5.6ක සංචිතය අනාගත අවදානම්වලට මුහුණ දීමට ප්‍රමාණවත් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල (බ්‍රෙන්ට් වර්ගය) මේ වන විට බැරලයක් ඩොලර් 107 දක්වා ඉහළ ගොස් ඇති පසුබිමක, රජයට තවදුරටත් ඉන්ධන සහනාධාර ලබා දීමට අපහසු වනු ඇති බව ඔහු අවධාරණය කළේය.
2025 වසරේදී 5%ක ආර්ථික වර්ධනයක් අත්කර ගත්තද, 2026 වසරේ සිට එම වර්ධන වේගය පවත්වා ගැනීම අපහසු වනු ඇති බවට මහ බැංකුව අනතුරු අඟවා ඇති බව ද ආචාර්ය විජේවර්ධන මහතා සිහිපත් කළේය. මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව කලාපීය නාවික හෝ ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය වනු ඇතැයි බලාපොරොත්තු වීම ප්‍රායෝගික නොවන බවත්, එබැවින් ප්‍රතිපත්ති සම්පාදකයින් අභ්‍යන්තර ආර්ථික ප්‍රතිපත්ති නිසි ලෙස සකස් කරමින් මෙම කම්පනවලට මුහුණ දීමට සූදානම් විය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














