යුක්රේනය හරහා දිවෙන ‘ඩ්‍රූෂ්බා’ (Druzhba) නල මාර්ගය ඔස්සේ රුසියානු බොරතෙල් සැපයුම යළි ආරම්භ වූ බව ස්ලෝවැකියානු රජය තහවුරු කර තිබේ. ස්ලෝවැකියානු ආර්ථික අමාත්‍ය ඩෙනිසා සකෝවා (Denisa Saková) සඳහන් කළේ අද (අප්‍රේල් 23) අලුයම 2 සිට මෙම තෙල් ලබා ගැනීම ආරම්භ වූ බවයි.
පසුගිය ජනවාරි මාසයේදී යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල වූ රුසියානු ප්‍රහාරයක් හේතුවෙන් මෙම තෙල් සැපයුම අත්හිටුවා තිබුණි. මෙම තත්ත්වය යුක්රේනය, යුරෝපා සංගමය, හංගේරියාව සහ ස්ලෝවැකියාව අතර මාස ගණනාවක් පුරා පැවති රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට හේතු විය.
රුසියානු තෙල් සැපයුම යළි ආරම්භ වීමත් සමඟ යුක්රේනය සඳහා ලබා දීමට නියමිතව තිබූ යුරෝ බිලියන 90ක (රුපියල් ට්‍රිලියන ගණනක) ණය මුදලට පනවා තිබූ නිෂේධ බලය (Veto) ඉවත් කිරීමට හංගේරියාව සහ ස්ලෝවැකියාව සූදානම් වේ. මෙම ණය මුදල පෙබරවාරි මාසයේ සිට එම රටවල් විසින් අත්හිටුවා තිබුණි.














