ඩුබායි රාජ්‍යයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කෙරුණු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන චාමර සම්පත් රුද්‍රිගු නොහොත් “මහවත්තේ චාමර” නමැත්තා ලබන ජූලි 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා අද (23) නියෝග කළේය.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සැකකරු අද දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මුලින්ම ඔහු ජූනි 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
කෙසේ වෙතත්, සැකකරුට එරෙහිව ගිනි අවි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 4 අධිකරණය හමුවේ තවත් නඩුවක් ගොනු කර ඇති බැවින්, ඔහුව එම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටියහ. ඒ අනුව, අංක 04 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා විසින් මෙම රක්ෂිත බන්ධනාගාර නියෝගය ලබා දෙන ලදී.
මෙහිදී ත්‍රස්තවාදී පනත යටතේ පවතින නඩු කටයුතු පිළිබඳව ද අධිකරණයේ අවධානය යොමු වූ අතර, විමර්ශන නිලධාරීන් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මීළඟ නඩු දිනයේදී කරුණු අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි.
















