වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේදී පොලිස් භාරයට ගත් T-56 ගිනි අවිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට එරෙහි නඩුව අද (10) ගල්කිස්ස අංක එක අධිකරණයේදී වැඩබලන මහේස්ත්‍රාත් රවී මතුගම මහතා හමුවේ කැඳවනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පැවසුවේ, නීතිපති උපදෙස් මත සිද්ධියට සම්බන්ධ පළමු සැකකාරිය මෙම නඩුවෙන් නිදහස් කර ඇති බවත්, මීට පෙර නිදහස් කර සිටි සිව්වන සැකකරු නැවත නඩුවට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවත්ය. මීට පෙර දුමින්ද දිසානායක මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිදහස් කර තිබුණද, දෙවන සැකකාරියට ගිනි අවියක් තබා ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි පවතින බව පවසමින් අධිකරණය විසින් ඔහුව නැවත සැකකරුවෙකු ලෙස නම් කර තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ, මේ වන විට විමර්ශන අවසන් කර ගොනු යොමු කර ඇති අතර, මහාධිකරණයේදී දුමින්ද දිසානායකට එරෙහිව අධි චෝදනා ගොනු කරන බවයි.
දුමින්ද දිසානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයේදී සඳහන් කළේ, ගිනි අවිය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් තම සේවාදායකයාට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැති හෙයින් පසුගිය වසරේ ජූලි 29 වන දින මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුව නිදහස් කළ බවයි. මහාධිකරණයේදී ඉදිරිපත් වන අධි චෝදනා සම්බන්ධයෙන් තමන් අභියෝගාත්මක කරුණු දැක්වීමක් සිදුකරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
















