අරගලයෙන් පසු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි ඇතුළු පිරිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන වධ බන්ධනවලට ලක් කරද්දී නිහඬව සිටි පිරිස්වලට, අද හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේගේ සිද්ධිය මුල්කර ගනිමින් එම පනතට එරෙහිව හඬ නැඟීමට සිදුව ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය. මෙය වධ බන්ධන පවත්වාගෙන යාමට සහ ඒවා දීමට පුරුදු පුහුණු වූ “වෘකයන්ට”, බැටළුවන්ගේ ප්‍රශ්න ගැන කතා කිරීමට සිදුවීම වැනි තත්ත්වයක් බව ද හෙතෙම කීය.
මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැති ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ 6 වැනි ජාතික සමුළුව අමතමින් නාගමුව මහතා මේ බව ප්‍රකාශ කළේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ මේ වන විට උපවාසයක නිරත වන බවත්, ඔහුව බේරා ගැනීමට පිරිසක් සත්‍යග්‍රහ කරමින් සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය. ආරක්ෂක අංශවල සිටින්නේ ද සාමාන්‍ය පන්තිවල මිනිසුන් වුවද, නිල ඇඳුම ඇඳගත් පසු ඔවුන් කරන්නේ පාලකයන් ආරක්ෂා කිරීමේ රාජකාරිය බව පැවසූ නාගමුව මහතා, එදා සිරිධම්ම හිමියන්ට අසනීප වූ විට බෙහෙත් පෙත්තක්වත් නොදී බලු දුක් විඳීමට සැලැස්වූ බව ද සිහිපත් කළේය. එමෙන්ම මීට මාස කිහිපයකට පෙර සේවා ස්ථානයේ ඊශ්‍රායලයට විරුද්ධව ස්ටිකරයක් ඇලවීමේ චෝදනාව මත මුස්ලිම් තරුණයෙකු මාස 9ක් මෙම පනත යටතේ සිරකර තැබූ බව ද ඔහු අනාවරණය කළේය.
කිසිදු පුද්ගලයෙකු අමානුෂික ලෙස වධහිංසාවට ලක් නොවිය යුතු අතර එය සුරේෂ් සලේට ද අදාළ වන බව පැවසූ දුමින්ද නාගමුව මහතා, කෙසේ වුවද මේ හරහා පාස්කු ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් වසා දැමීමට ඉඩ නොතැබිය යුතු බවත්, වැඩකරන පන්තිය තමන් සිටගත යුත්තේ කොතැනදැයි නිවැරදි දේශපාලන දැක්මකින් යුතුව තේරුම් ගත යුතු බවත් වැඩිදුරටත් අවධාරණය කළේය.
















