තිරසර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව උපරිමයෙන් කැපවී සිටින බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති නිලූක කදුරුගමුව මහතා ප්‍රකාශ කළේය.
තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී පැවැති ඉහළ පෙළේ කෘෂිකාර්මික අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවකට මෙරට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා නියෝජනය කරමින් එක්වෙමින් තානාපතිවරයා මේ බව සඳහන් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මෙම සමුළුව “පශ්චාත් අස්වනු හානිය අවම කිරීම: ආහාර සැපයුම් දාමයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම” යන තේමාව යටතේ පවත්වා තිබේ.
තුර්කි කෘෂිකර්ම හා වන විද්‍යා අමාත්‍යාංශය සහ ‘සීරෝ වේස්ට්’ (Zero Waste) පදනම ඒකාබද්ධව සංවිධානය කළ මෙම සමුළුවට විවිධ රටවල අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් මෙන්ම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), ලෝක ආහාර වැඩසටහන (WFP) සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන් රැසක් සහභාගී වී සිටියහ.
මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දැක්වූ තානාපති කදුරුගමුව මහතා, රජයේ ආයතන, පෞද්ගලික අංශය සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ ඒකාබද්ධ දායකත්වයෙන් පශ්චාත් අස්වනු හානිය අවම කරගැනීමට ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පැහැදිලි කළේය. එමෙන්ම ‘ශූන්‍ය අපතේ යෑම’ (Zero-Waste) සංකල්පය තහවුරු කිරීමට මෙරට දක්වන සූදානම ද ඔහු අවධාරණය කළේය.
කෘෂිකාර්මික පර්යේෂණ හා නවෝත්පාදන ශක්තිමත් කිරීම, ශීතකරණ ගබඩා ජාල (cold chain networks) පුළුල් කිරීම, සැපයුම් පද්ධති සක්‍රීය කිරීම සහ තාක්ෂණික විසඳුම් මඟින් ගෝලීය ආහාර පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර, මෙම නිල හමුව සඳහා තුර්කියේ අන්කාරාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය නිලූෂා දිල්මිණි මහත්මිය ද එක්ව සිටියාය.
















