සහරාන් හෂීම් ප්‍රමුඛ පිරිසක් විසින් 2019 අප්‍රේල් 21 වැනිදා සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ විත්තිවාචක සහ සාක්ෂි විභාගය ලබන 17 වැනිදා ආරම්භ කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර ඇත.
මෙම නඩුවේදී විත්තිකරුවන් 12 දෙනෙකු සඳහන් කර ඇත්තේ තමන් විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරන නමුත්, නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට වෙනත් සාක්ෂිකරුවන් කැඳවන්නේ නැති බවයි. පළමුවන විත්තිකරු වන නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකු අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමන් විත්තිකූඩුවේ සිට ප්‍රකාශ කරමින් සාක්ෂි කැඳවන බවය. තවත් විත්තිකරුවෙකු නිහඬව සිටීමට තීරණය කර ඇති අතර, විනිසුරු මඬුල්ල ඉදිරියේ පාපොච්චාරණ 10ක් සහ නඩු භාණ්ඩ 2,076ක් මීට පෙර ලකුණු කර තිබේ.














