ග්‍රාමීය ව්‍යවසායකයා ජාතික ආර්ථිකයේ සෘජු කොටස්කරුවකු බවට පත් කිරීම රජය විසින් ස්ථාපිත කරන නව සේවා හා ආධාරක මධ්‍යස්ථානවල ප්‍රධාන ඉලක්කය බව විද්‍යා හා තාක්ෂණ ඇමැති මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ප්‍රකාශ කළේය.
ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන රාජ්‍ය විශ්වවිද්‍යාල ආශ්‍රිතව සේවා හා ආධාරක මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ වැඩසටහනේ තුන්වැනි මධ්‍යස්ථානය ආරම්භ කිරීමේ අවස්ථාවට පසුගියදා (4) මඩකලපුව පිහිටි නැඟෙනහිර විශ්වවිද්‍යාලයේදී එක්වෙමිනි. මෙම මධ්‍යස්ථානය විද්‍යා හා තාක්ෂණ ඇමැති මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
නැඟෙනහිර පළාතේ විශ්වවිද්‍යාලයීය පර්යේෂණ මෙන්ම නවෝත්පාදන සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අතර ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩනැඟීම මෙහි මූලික අරමුණ වන අතර, විශේෂයෙන්ම ආහාර තාක්ෂණ ක්ෂේත්‍රයේ කලාපීය ව්‍යවසායකත්වය නංවාලීම මෙහිදී සිදු කෙරේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා මෙසේ අවධාරණය කළේය.
“ග්‍රාමීය ප්‍රදේශවල ව්‍යවසායකයන්ට පරීක්ෂණාගාර පහසුකම් ලබා ගැනීමට දැන් කොළඹට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. උපාධි අපේක්ෂකයන්, පශ්චාත් උපාධි පර්යේෂකයන් ඇතුළු විශ්වවිද්‍යාල ප්‍රජාවට මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නව නිෂ්පාදනයක් සඳහා වූ ගමනට අවශ්‍ය නවීන පරීක්ෂණාගාර පහසුකම් මේ හරහා ලැබෙනවා. මෙම නවීන පර්යේෂණ පහසුකම් ලබා දෙමින් දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඉහළ නංවා ගැනීමට ග්‍රාමීය නිෂ්පාදන දායක කර ගැනීම අපේ බලාපොරොත්තුවයි. එමෙන්ම විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6ක ප්‍රතිශතයක් වෙන් කිරීමට ඉදිරියේදී ක්‍රමානුකූලව කටයුතු කරනවා.”
මෙම අවස්ථාවට එක්වූ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා ද අදහස් දැක්වීය. ඔහු කියා සිටියේ ව්‍යවසායකත්ව සංවර්ධනයට මෙන්ම ආර්ථික සංවර්ධන අවශ්‍යතාවලට ගැළපෙන කුසලතා සහිත උපාධිධාරීන් බිහිකිරීමට මෙම මධ්‍යස්ථානයට හැකි වන බැවින්, උපාධි අපේක්ෂකයන්ට සහ උපාධිධාරීන්ට ව්‍යවසායකයන් ලෙස කැපවී වැඩ කිරීමට දැන් බොහෝ අවස්ථා උදාවී ඇති බවයි.
















