ස්විට්සර්ලන්තයේ Edelweiss ගුවන්සේවය 2026/27 ශීත ඍතු ගුවන් ගමන් කාලසටහන යටතේ සූරික් සහ කොළඹ අතර ගුවන් ගමන් වාර සංඛ්‍යාව සතියකට තුනක් දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබේ.
පසුගිය ශීත ඍතු සමයේ සතියකට ගුවන් ගමන් වාර දෙකක් ක්‍රියාත්මක වූ අතර, නව කාලසටහන යටතේ එය ගුවන් වාර තුනක් දක්වා ඉහළ නංවා ඇත.
නව ශීත ඍතු සේවාවේ පළමු ගුවන් ගමන ඔක්තෝබර් 26 වැනිදා සූරික් නුවරින් පිටත්වී ඔක්තෝබර් 27 වැනිදා ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත අතර, මෙම සේවාව 2027 මැයි මාසය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
සූරික් සිට කොළඹ දක්වා LX 8064 ගුවන් ගමන් සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල ක්‍රියාත්මක වන අතර, කොළඹ සිට සූරික් දක්වා LX 8065 ගුවන් ගමන් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල ක්‍රියාත්මක වේ.
2025 වසරේදී ස්විට්සර්ලන්ත සංචාරකයින් 30,000කට අධික පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, එම සංචාරක වෙළෙඳපොළ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඇති වැදගත්කමද මෙයින් පෙන්නුම් කරයි.














