27 April 2024
#දේශීය

බිත්තර මිලෙත් මාෆියාවක්

මේ වන විට වෙළදපොලේ බිත්තර මිල සීග්‍රයෙන් වැඩි වී ඇති අතර එහි පිටුපස විශාල මාෆියාවක් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා මාධ්‍ය වෙත ලිපියන් යොමු කරමින් කියා සිටින්නේ ගොවිපොලෙන් රුපියල් 14.20 ට බිත්තර ප්‍රවාහනය කරන්නන් විසින් බිත්තර මිලදී ගන්නා අතර එම බිත්තරයක් වෙළදසැලකට අලෙවි කරන්නේ රුපියල් 15.50 ක මුදලකට බවයි. ඒ අනුව කඩ හිමියා විසින් බිත්තරයක් පාරිභෝගිකයා වෙත අලෙවි කරනු ලබන්නේ රුපියල් 17/= කට හෝ රුපියල් 18/= ක් වැනි මිලකටය.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් කර ඇත “ එහෙත් බිත්තරයක නිෂ්පාදන මිල වන්නේ රුපියල් 8.50 කට වඩා අඩු මිලක්ය. කුකුල් ආහාර මිල පහත වැටීම නිසා බිත්තරයක නිෂ්පාදන මිල සීග්‍රයෙන් අඩු වී ඇති අවස්ථාවක මහාපරිමාණ බිත්තර ව්‍යාපාරිකයින් විසින් බිත්තරයක මිල තීරණය කිරීම නිසා වෙළදපොලේ බිත්තර මිල ඉහළ ගොස් ඇත.(එක් බිත්තරයකින් රුපියල් 5.70 ක ලාභයක් නිෂ්පාදකයා ලබා ගනී) තවද කිකිලියන්ගේ ජනගහනය අඩු කිරීම සදහා මෙම ව්‍යාපාරිකයින් කිහිපදෙනා දැඩි බලපෑම් එල්ල කරමින් සිටින්නේ තමන්ගේ බිත්තර වෙළදාම සදහා වන ඒකාධිකාරය තවදුරටත් තමන්වෙත තබා ගනිමින් බිත්තර මිලදී ගන්නා පාරිභෝගිකයා ගසා කමින් සිය මඩිය තර කර ගැනීමට බව මැනවින් පැහැදිලි වේ. මෙම මාෆියාව නවතා දමා අඩුම මිලකට වැඩිම පෝෂණයක් ලබා දෙන බිත්තරයක් මෙරට පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට මිලදී ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස රජයෙන් අප ඉල්ලා සිටිමු“ යැයි නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *