පැසිපික් සාගරය ආශ්‍රිතව හටගෙන ඇති ‘එල් නිනෝ’ දේශගුණික විපර්යාස තත්ත්වය මේ වන විට ආරම්භ වී දුර්වල මට්ටමක පැවතියද, එය ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ප්‍රබල විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කරන්නේ, මෙම වසරේ නොවැම්බර් සිට 2027 ජනවාරි දක්වා කාලය තුළ මෙම තත්ත්වය ඉතා ප්‍රබල මට්ටමකට වර්ධනය වීමේ 63%ක සම්භාවිතාවක් පවතින බවයි. කෙසේ වෙතත්, අමෙරිකානු සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය (NOAA) පෙන්වා දෙන්නේ එය ඉතා ප්‍රබල නොවීමේ සම්භාවිතාවක්ද පවතින බවයි.
මෙම තත්ත්වය හේතුවෙන් වර්ෂාපතන රටාවේ වෙනස්වීම් සිදුවිය හැකි අතර, දැනට පවතින නිරිතදිග මෝසම් වැසි අඩුවීමට ඉඩ ඇති අතර, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී සාමාන්‍ය වැසි ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ. පවතින ජල ධාරිතාව සහ ලැබීමට නියමිත වැසි සැලකිල්ලට ගනිමින්, වගා කටයුතු, විදුලි බල උත්පාදනය සහ පානීය ජල අවශ්‍යතා සඳහා ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිත කිරීමට පියවර ගෙන ඇත.
හානි අවම කරගැනීම සඳහා ඉදිරි මහ කන්නයේ වගා කටයුතු නියමිත කාලයට පෙර ආරම්භ කරන ලෙස පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙම දේශගුණික තත්ත්වයට සාර්ථකව මුහුණ දීම සඳහා සියලුම අමාත්‍යාංශ ඒකාබද්ධ කර විශේෂ වැඩපිළිවෙළක් ඉදිරි සති දෙක තුළ ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















