වර්තමානයේ ‘එල් නිනෝ’ (El Niño) තත්ත්වයක් ආරම්භ වී ඇති බවත්, එය ඉදිරි මාස කිහිපය තුළ වර්ධනය වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. 2026 නොවැම්බර් සිට 2027 ජනවාරි දක්වා කාලය තුළ මෙම තත්ත්වය 63%ක සම්භාවිතාවකින් වර්ධනය විය හැකි බවට පුරෝකථනය කර ඇත. ඇමරිකානු ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනයේ දත්ත අනුව, මෙම එල් නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල මට්ටමකට පත්වීමේ සම්භාවිතාව තුනෙන් එකක් පමණ වන බව වාර්තා වේ.
ජූලි සහ අගෝස්තු මාසවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට, විශේෂයෙන්ම වියළි කලාපයට සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් පවතින බැවින් ජල කළමනාකරණය පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත්, ඔක්තෝබර් මාසයෙන් පසුව සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන අතර, එහිදී ගංවතුර සහ නායයෑම් වැනි ආපදා තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් ද පවතී.
වර්ෂාපතන අපේක්ෂාවන් දෙස බලන විට, ජූලි මාසයේදී බස්නාහිර සහ දකුණු පළාත්වලට සාමාන්‍ය වර්ෂාපතනයක් ලැබුණද දිවයිනේ සෙසු ප්‍රදේශවලට සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබිය හැක. අගෝස්තු මාසයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබීමේ හැකියාව පවතින අතර, සැප්තැම්බර් මාසයේදී බස්නාහිර සහ දකුණු පළාත්වලට සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, එම මාසයේදී සෙසු ප්‍රදේශවලට ලැබෙන වර්ෂාව අඩු විය හැක.
මෙම කාලගුණික වෙනස්වීම් කෘෂිකර්මය, ජල කළමනාකරණය, බලශක්ති උත්පාදනය සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට සෘජුවම බලපෑම් කළ හැකි බැවින්, අදාළ අංශ මෙන්ම මහජනතාව ද මේ පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන යාවත්කාලීන නිවේදන පිළිබඳව විමසිලිමත් වන ලෙසත් බලධාරීන් ඉල්ලා සිටියි.
















