පවතින එල් නිනෝ කාලගුණික තත්ත්වය සහ වියළි කාලගුණය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22කට අයත් පවුල් 25,563ක පුද්ගලයන් 81,605 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් ධනංසූරිය මහතා පවසයි. අම්පාර, පොලොන්නරුව, මඩකලපුව, බදුල්ල, මොනරාගල, හම්බන්තොට සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනතාව මෙලෙස දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.
පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් නිකුත් කර ඇති අතර, පානීය හා සනීපාරක්ෂක කටයුතු සඳහා මෙතෙක් එක් අයෙකුට දිනකට ලබා දුන් ලීටර් 6ක ජල ප්‍රමාණය ලීටර් 15 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ. මේ වන විට ජල බවුසර් 324ක් යොදවා ජලය බෙදා හැරීමේ කටයුතු සිදු කෙරෙන අතර, අවශ්‍යතාවය අනුව පළාත් පාලන ආයතන සහ ආරක්ෂක අංශ සතු බවුසර් ද යොදා ගැනීමට තීරණය කර ඇත.
යම් ප්‍රදේශයක ජල අවශ්‍යතා තීරණය කිරීමේ බලය ප්‍රාදේශීය ලේකම්, වෛද්‍ය සෞඛ්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ ආපදා සහන සේවා නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවකට පවරා තිබේ. පානීය ජල ගැටලු පවතින ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳව වහාම අදාළ ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කරන ලෙස ද ආපදා සහන සේවා මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.
















