පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉස්ලාමාබාද් නුවර පිහිටි පෞද්ගලික රෝහලකට මාරු කරන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් කිරීමට පාකිස්තාන රජය තීරණය කර ඇති බව එංගලන්තයේ ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් සේවය වාර්තා කරයි. ඕනෑම සිරකරුවකුට බන්ධනාගාරය තුළදී හෝ රජයේ රෝහලකදී පමණක් ප්‍රතිකාර ලබා දිය යුතු බැවින් එම නියෝගය යළි සලකා බලන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බව එරට අධිකරණ ඇමැති අසාම් නසීර් ප්‍රකාශ කර තිබේ.
රාවල්පින්ඩි නුවර අඩියලා බන්ධනාගාරයේ රඳවා සිටින 73 හැවිරිදි ඉම්රාන් ඛාන්ගේ පිරිහෙමින් පවතින සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින්, පැය 48 ක් ඇතුළත ඔහුව අගනුවර පිහිටි ෂිෆා ජාත්‍යන්තර පෞද්ගලික රෝහලට ඇතුළත් කරන ලෙස පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය බලධාරීන්ට නියෝග කර තිබුණි.
ඊට අමතරව ඉම්රාන් ඛාන් හට සිය පෞද්ගලික වෛද්‍යවරයා හමුවීමට අවසර දෙන ලෙසත්, සතියකට වරක් පවුලේ සාමාජිකයන් හමුවීමට සහ ලන්ඩන් නුවර පදිංචිව සිටින ඔහුගේ පුත්‍රයන් සමඟ සතියකට දෙවතාවක් දුරකතනයෙන් කතාබහ කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත.
















