පවතින එල්නිනෝ (El Niño) තත්ත්වය හේතුවෙන් කුඩා ධාරිතාවන් සහිත වැව් සිඳී යාමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම තත්ත්වය හමුවේ ජලාශවල ධාරිතාව අඩුවන නිසා වගා කටයුතුවලදී සහ අනෙකුත් කටයුතුවලදී ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඉංජිනේරු කිත්සිරි වැලිගෙපොලගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
කෙසේ වෙතත්, පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් ජල පරිමාවක් ජලාශවල පවතින බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇති කර ගත යුතු නැතැයි හෙතෙම පවසයි. සමස්ත වාරි පද්ධතියේ ජල ධාරිතාව සහ වර්ෂාපතනයේ ප්‍රමාණය සැලකිය යුතු මට්ටමින් අඩුවුවහොත් ඉදිරි මහ කන්නයේදී වගා කළ යුතු බිම් ප්‍රමාණය පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගැනීමට සිදුවන බවත්, ඔක්තෝබර් මාසයේ ඇරඹෙන මහ කන්නයට අවශ්‍ය ජලය රඳවා තබා ගැනීමට මේ වන විට සැලසුම් සකස් කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.














