එල්-නිනෝ ගෝලීය දේශගුණික විපර්යාසය හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම්වලට මුහුණ දීම සහ ඊට පෙර සූදානම් වීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පසුගියදා (08) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ලාල් මාන්ත සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණි.
සාකච්ඡාවේදී අවධානය යොමු වූ ප්‍රධාන කරුණු:
කෘෂිකාර්මික ක්ෂේත්‍රයට එල්-නිනෝ තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි බලපෑම් පිළිබඳව විශේෂ අවධානය යොමු විය.
ඉදිරියේදී එළඹෙන යල කන්නය සඳහා අවශ්‍ය ජලය ජලාශවල රඳවා ගැනීම සහ පානීය ජලය සුරක්ෂිත කර ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
අදාළ ආයතනවල අදහස් සහ යෝජනා ලබා ගන්නා ලෙස අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
එල්-නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා ක්‍රමවත් සැළසුමක් සකස් කර ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතනවලට උපදෙස් දෙන ලදී.
දිවයිනට බලපෑ කුණාටු සහ මැදපෙරදිග යුදමය තත්ත්වය වැනි අභියෝග කළමනාකරණය කළා සේම, මෙම ගෝලීය තත්ත්වයද නිසි ලෙස කළමනාකරණය කිරීමට රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බව අමාත්‍යවරුන් පෙන්වා දුන්නේය.
ස්වාභාවික ආපදා කල්තියා පුරෝකථනය කළ නොහැකි බැවින්, ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා මල්ටිපල් (Multiple) සැලසුම් සකස් විය යුතු බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමාරනායක, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන) ඒ.එල්.එස්. වික්‍රමසිංහ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ඒ.ආර්.ටී. වික්‍රමආරච්චි යන මහත්ම මහත්මීන් සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජික සාමාජිකාවන් එක්ව සිටියහ.
















