පසුගිය වසරේ මැයි 25 වන දින ඉන්දියාවේ කේරළ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී අනතුරට පත් එල්සා 3 (Elsa 3) නෞකාවෙන් මුහුදට මුසු වූ ප්ලාස්ටික් පබළු (Plastic Pellets) හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට සිදුව ඇති බලපෑම අවම කිරීමේ මෙහෙයුම් තවදුරටත් පුළුල් කර තිබේ. මෙම ප්ලාස්ටික් පබළු හේතුවෙන් උතුරේ ඩෙල්ෆ්ට් දූපතේ සිට මන්නාරම, කල්පිටිය, පුත්තලම, මීගමුව සහ කොළඹ හරහා ගාල්ල දක්වා වූ වෙරළ තීරයන් විවිධ මට්ටමින් දූෂණයට ලක් විය.
දැනට පවතින තත්ත්වය අනුව, කල්පිටිය උච්චිමුණේ දූපතේ වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු පසුගියදා විශේෂ අවධානයක් සහිතව ආරම්භ කෙරිණි. මෙම පිරිසිදු කිරීමේ මෙහෙයුම් සඳහා ප්‍රදේශයේ ධීවර ජනතාව දෛනික ගෙවීම් පදනම මත සම්බන්ධ කරගෙන ඇති අතර, එමඟින් පිරිසිදු කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කිරීමට පියවර ගෙන ඇත.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) සභාපති සමන්ත ගුණසේකර මහතා සහ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පසුගියදා මෙම ප්‍රදේශවල විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. මෙම සංචාරයට අදාළ නෞකා සමාගමේ සහ රක්ෂණ සමාගමේ නියෝජිතයින් ද එක්ව සිටි අතර, මෙහෙයුම්වල ප්‍රගතිය සහ ඉදිරි පියවර පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ප්ලාස්ටික් පබළු යනු සාගර පරිසර පද්ධතියට සහ මත්ස්‍ය සම්පතට දැඩි හානි පමුණුවන දූෂකයක් බැවින්, මේවා කඩිනමින් ඉවත් කිරීමේ අවශ්‍යතාව බලධාරීන් පෙන්වා දෙයි.














