2026 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා එමිරේට්ස් සමූහය (Emirates Group) ඇමරිකානු ඩොලර් බිලියන 6.6 ක (ඩිරාම් බිලියන 24.4) වාර්තාගත ලාභයක් අත්කරගෙන ඇති බව සිය වාර්ෂික වාර්තාව මගින් නිවේදනය කර තිබේ. මෙය පසුගිය වසරට වඩා 7% ක වර්ධනයක් වන අතර, සමූහයේ සමස්ත ආදායම ද 3% කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් බිලියන 41.0 ක් (ඩිරාම් බිලියන 150.5) ලෙස වාර්තා වී ඇත. මූල්‍ය වර්ෂයේ අවසාන භාගයේ පැවති අසීරු අභියෝග මධ්‍යයේ වුවද මෙම ප්‍රතිඵලය අත්කර ගැනීමට හැකි වූ බව එමිරේට්ස් ගුවන් සේවයේ සහ සමූහයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී අතිගරු ෂෙයික් අහමඩ් බින් සයීඩ් අල් මක්ටුම් මහතා ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම පෙබරවාරි 28 වන දින ඇති වූ යුධමය ක්‍රියාකාරකම් හේතුවෙන් ගල්ෆ් කලාපයේ ගුවන් ගමනාගමනයට බාධා එල්ල වූ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
එමිරේට්ස් ගුවන් සේවය (Emirates Airline) බදු ගෙවීමට පෙර ඩිරාම් බිලියන 22.8 ක (ඇමරිකානු ඩොලර් බිලියන 6.2) ලාභයක් ලබමින් ලොව ලාභදායී ගුවන් සේවය ලෙස සිය ස්ථානය තහවුරු කරගෙන ඇති අතර එය පසුගිය වසරට වඩා 7% ක වර්ධනයකි. ගුවන් සේවයේ ආදායම ද පසුගිය වසරට සාපේක්ෂව 2% කින් වැඩි වී ඩිරාම් බිලියන 130.9 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 35.7) ලෙස සටහන් විය. පිරිවැය කළමනාකරණය සම්බන්ධයෙන් ගත් කල සමස්ත මෙහෙයුම් පිරිවැය 2% කින් වැඩි වුවද, ඉන්ධන පිරිවැය මෙහෙයුම් පිරිවැයෙන් 29% ක් දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ.
එමිරේට්ස් SkyCargo අංශය ද කැපී පෙනෙන දස්කම් දක්වමින් ඇමරිකානු ඩොලර් බිලියන 4.4 ක ආදායමක් වාර්තා කළ අතර එය සමස්ත ආදායමට 12% ක දායකත්වයක් ලබා දී තිබේ. සමූහය සිය අනාගත වර්ධන සැලසුම් වෙනුවෙන් නව ගුවන් යානා සහ තාක්ෂණය සඳහා ඩිරාම් බිලියන 17.9 ක (ඇමරිකානු ඩොලර් බිලියන 4.9) දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමට ද පියවර ගෙන ඇත.













