ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයේ විකුණුම් මිල අද (08) රුපියල් 325 සීමාව ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දෛනික විනිමය අනුපාතික වාර්තාවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 317.86 ක් ලෙසත් විකුණුම් මිල රු. 325.53 ක් ලෙසත් සටහන් විය. ඩොලරයේ විකුණුම් මිල රුපියල් 325 සීමාව පසු කළේ 2024 ජනවාරි 22 දිනෙන් පසුව ප්‍රථම වතාවට වීම විශේෂත්වයකි.
මේ අතර ඩොලරයේ මධ්‍ය අගය (Indicative Rate) ද රු. 321.63 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය ද 2024 ජනවාරි මසින් පසු වාර්තා වූ ඉහළම අගයයි. මහ බැංකු දත්තවලට අනුව 2026 වසරේ මුල් මාස හතර තුළ රුපියල 2.9% කින් අවප්‍රමාණය වී ඇත.
මෙම තත්ත්වය හමුවේ මෙරට නිල සංචිත වත්කම් ද පහළ ගොස් ඇති අතර, 2026 අප්‍රේල් මාසය අවසානයේදී එය ඩොලර් මිලියන 6,759 ක් දක්වා 3.8% කින් අඩු වී තිබේ. එහිදී විදේශ විනිමය සංචිතය ද ඩොලර් මිලියන 6,800 සිට ඩොලර් මිලියන 6,505 ක් දක්වා 4.3% කින් පහළ බැස ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.















