2026 ICC විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (ජූනි 12) එංගලන්තයේදී නිල වශයෙන් ආරම්භ විය.
කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම පියවරක් ලෙස සැලකෙන මෙම 10 වැනි ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් 12ක් සහභාගි වන අතර, එය මෙම තරගාවලි ඉතිහාසයේ වැඩිම කණ්ඩායම් ප්‍රමාණයක් සහභාගි වන පළමු අවස්ථාවයි.
තරගාවලිය සත්කාරක රට වන එංගලන්තයේදී ජූනි 12 සිට ජූලි 5 දක්වා පැවැත්වේ. කණ්ඩායම් 12ක් කාණ්ඩ දෙකක් යටතේ තරග 33කට සහභාගි වන අතර අවසන් මහා තරගය ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
‘A’ කාණ්ඩයට ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය ඇතුළත් වේ. ‘B’ කාණ්ඩයට එංගලන්තය, අයර්ලන්තය, නවසීලන්තය, ස්කොට්ලන්තය, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් ඇතුළත් වේ. නෙදර්ලන්ත කාන්තා කණ්ඩායම විස්සයි20 ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
මෙම තරගාවලියේ සමාරම්භක තරගය අද රාත්‍රී 11.00ට (ශ්‍රී ලංකා වේලාවෙන්) සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පසුගිය 2024 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති තරගාවලියේදී ශූරතාව දිනා ගත්තේ නවසීලන්ත කණ්ඩායමයි. කෙසේ වෙතත්, තරග ඉතිහාසය තුළ වැඩිම වතාවක් එනම් ලෝක කුසලාන 6ක් දිනාගත් කණ්ඩායම ලෙස ඔස්ට්‍රේලියාව පෙරමුණේ පසුවේ.
















