ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් අමුද්‍රව්‍ය ලෙස රටින් පිට කිරීම මින් ඉදිරියට තහනම් කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා නිවේදනය කළේය. වසර 27කට පසුව යාවත්කාලීන කළ නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය ජූනි 11 වැනි දින සිට බලාත්මක කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙතෙක් කාලයක් මෙරට ඛනිජ සම්පත් අමුද්‍රව්‍ය ලෙස අපනයනය කිරීම නිසා, ඒවායින් රටේ ජාතික ආර්ථිකයට ලැබිය යුතු සැබෑ ඩොලර් වටිනාකම අහිමි වී තිබිණි. උදාහරණයක් ලෙස, අමුද්‍රව්‍ය ලෙස ඩොලර් 2,000කට අපනයනය කළ ඛනිජ ටොන් එකක අගය, නිසි පරිදි අගය එකතු කිරීම් සිදු කළේ නම් ඩොලර් 20,000ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකියාව තිබූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. සර්කොන්, ගානට්, සිලිකන්, ක්වාර්ට්ස් සහ ටයිටේනියම් වැනි ඛනිජ වර්ග මෙලෙස වසර ගණනාවක් පුරා අගය එකතු කිරීමකින් තොරව අපනයනය කර ඇත.
නව ප්‍රතිපත්තිය යටතේ ඛනිජ සම්පත් ගවේෂණය, කැනීම් කිරීම, සකස් කිරීම සහ අගය එකතු කිරීම යන සියලු ක්‍රියාවලීන් දැඩි නියාමනයකට ලක් කෙරේ. මීට පෙර ගවේෂණ බලපත්‍රවලට පමණක් සීමා වී තිබූ මෙම ක්ෂේත්‍රය, නව ප්‍රතිපත්තිය හරහා ජාතික ආර්ථිකයට උපරිම ප්‍රතිලාභ ලැබෙන පරිදි ප්‍රතිසංවිධානය කිරීම රජයේ අපේක්ෂාවයි. කැබිනට් මණ්ඩල අනුමැතිය සහ පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටියෙන් අනතුරුව ක්‍රියාත්මක වන මෙම පියවර, ශ්‍රී ලංකාවේ ඛනිජ කර්මාන්තයේ නව පරිවර්තනයක් වනු ඇත.
















