සහරා කාන්තාරයේ සිට උතුරු දෙසට හමා එන උණුසුම් වායු ස්කන්ධයක් හේතුවෙන් යුරෝපයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක මට්ටම දක්වා ඉහළ යාමත් සමඟ දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මෙම “තාප ගෝලාකාර” (heat dome) තත්ත්වය මධ්‍යම සහ බටහිර යුරෝපය පුරා පැතිරෙමින් පවතින අතර, එය ඉදිරි දින කිහිපය පුරාම බලපෑ හැකි බව කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති.
ඉතාලියේ නගර 8ක (මිලාන්, ෆ්ලොරන්ස්, බොලොග්නා සහ ටියුරින් ඇතුළුව) ඉහළම අවදානම් මට්ටම වන රතු නිවේදන නිකුත් කර තිබේ. රෝමයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ ජනතාව දැඩි හිරු රශ්මියෙන් ආරක්ෂා වීම සඳහා කුඩ භාවිත කරන අයුරු දක්නට ලැබුණි.
ප්‍රංශයේ දුම්රිය ජාලය දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති අතර, අධික උණුසුම නිසා දුම්රිය මාර්ග සහ විදුලි රැහැන්වලට හානි සිදුවීමේ අවදානමක් පවතී. ඒ හේතුවෙන් අන්තර් නගර දුම්රිය ගමන් වාර 71ක් අවලංගු කර ඇති අතර, අවදානමට ලක්විය හැකි මගීන්ට ගමන් කල් දමන ලෙස බලධාරීන් ඉල්ලා ඇත.
ස්පාඤ්ඤයේ බොහෝ ප්‍රදේශවල සෙල්සියස් අංශක 39-40 දක්වා උෂ්ණත්වය ඉහළ ගොස් ඇති අතර, ඒ සඳහා රතු සහ තැඹිලි වර්ණයෙන් යුත් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. මෙම තත්ත්වය අවම වශයෙන් බ්‍රහස්පතින්දා දක්වා පවතිනු ඇත.
ජර්මනියේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 දක්වා ඉහළ ගොස් ඇති අතර, බර්ලින් ඇතුළු නැගෙනහිර ප්‍රදේශවලට තද වැසි සහ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල සුළං තත්ත්වයන්ද වාර්තා විය.
මෙම උණුසුම් කාලගුණය හේතුවෙන් වන සතුන්ටද දැඩි බලපෑම් එල්ල වී තිබේ. විශේෂයෙන් බෙල්ජියමේ සත්ත්ව සුබසාධන මධ්‍යස්ථාන වෙත උණුසුම දරාගත නොහැකි වූ පක්ෂි පැටවුන් විශාල ප්‍රමාණයක් ලැබෙමින් පවතින බව වාර්තා වේ. දේශගුණික විපර්යාස හේතුවෙන් යුරෝපයේ මෙවැනි උණුසුම් කාලගුණික රැළි බහුලව සහ වඩාත් තීව්‍ර ලෙස සිදුවන බව විශේෂඥයෝ පෙන්වා දෙති.
















