ලෙබනනයේ ක්‍රියාත්මක ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් දරුවෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ලෙබනන් රාජ්‍ය මාධ්‍ය අද (21) වාර්තා කළේය.
ලෙබනනයේ ජාතික පුවත් ඒජන්සිය (NNA) සඳහන් කරන පරිදි, බෙකා නිම්නයේ සහමාර් (Sahmar) නගරයට එල්ල වූ ප්‍රහාරයකින් දරුවෙකු, කාන්තාවක් සහ වැඩිහිටියන් දෙදෙනෙකු මියගොස් ඇත. මීට අමතරව, දකුණු දිග ටයර් (Tyre) හි රෂීඩියා (Rashidieh) සරණාගත කඳවුරට එල්ල වූ ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
කෙසේ වෙතත්, ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම ප්‍රදේශවල කිසිදු හමුදා ක්‍රියාමාර්ගයක් පිළිබඳ තමන් නොදන්නා බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) පවසයි.
පසුගිය මාර්තු මස මුලදී ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් උත්සන්න වීමත් සමඟ, දකුණු ලෙබනනයේ සරණාගත කඳවුරුවල වෙසෙන පලස්තීන ජනතාව ඉහළම අවදානමකට ලක්ව සිටින බව ඇමරිකානු ආධාර සංවිධානයක් වන ‘ඇනෙරා’ (Anera) සිය නවතම වාර්තාවකින් අනතුරු අඟවා තිබේ. 1948 වසරේ සිට ලෙබනනයේ පදිංචි වී සිටින පලස්තීනුවන්ට මෙම යුධ ගැටුම් හේතුවෙන් සිය අවසාන ආරක්ෂාව ද අහිමි වී ඇති බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
















