27 April 2024
#දේශීය

සහල් මිල ගැන ආණ්ඩුව ගත් අදුරදර්ශි ක්‍රියා නිසා හැමෝම අමාරුවේ – විපක්ෂනායක

සහල් මිල පාලනය සම්බන්ධයෙන් රජය විසින් සිදු කරනු ලැබූ අදූරදර්ශී හා අතාර්කික ක්‍රියාමාර්ග හේතුවෙන් පාරිභෝගික ජනතාව පමණක් නොව කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් ද දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා අද(21) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27(2) යටතේ අසා සිටියේ වර්තමාන රජය විසින් තරඟකාරී ලෙස මිල පාලන ගැසට් නිකුත් කරමින්, වී මෝල් හිමියන් සහ ගබඩාකරුවන් සංචරණ සීමා පවතින කාලසීමාවන් හි ලියාපදිංචි කිරීමට උත්සාහ දරන බවයි. සංදර්ශනාත්මක හදිසි වැටලීම් සිදු කරමින් මෙම ව්‍යාපාරිකයින් බරපතල වංචාකරුවන් ලෙස ජනතාවට ඒත්තු ගැන්වීමට කටයුතු කරන ලදී.

අපහැදිලි නීතිමය තත්ත්වයන්ට මුවාවෙමින් සිදු කරනු ලැබූ මෙම බලහත්කාරී ක්‍රියා වඩාත් තීව්‍ර කරමින් හදිසි නීතිය පැනවීම සහ වැටලීම් මගින් ලබාගත් වී වෙනුවෙන් අඩු මිලක් ගෙවමින් රජය කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් කබලෙන් ලිපට ඇද දමා ඇති බව හෙතෙම පැවසිය.

වර්තමාන රජය අසාර්ථක ආණ්ඩුකරණයක පරමාදර්ශයක් වෙමින් හාල් මිල පාලනයට රිවස් ගැසට්, මාධ්‍ය සංදර්ශන හා නීතිමය බලහත්කාරකම් වැනි ක්‍රියාමාර්ග සිදු කල අතර, එමගින් නිදහස් වෙළඳපොළ ආර්ථිකයක වෙළඳපොළ පාලනය සඳහා වඩාත් ඵලදායී උපායමාර්ගයක් ලෙස භාවිතා වූ “නියාමනය” යන්න විහිලුවක් බවට පත්වි ඇති බව ඔහු අනාවරණ කලේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *