27 April 2024
#දේශීය

කළුගල් නිෂ්පාදකයින්ගේ ගැටළුවට අවශ්‍ය මැදිහත් වීම සිදු කරන බව හිටපු ඇමැති දුමින්ද කියයි

ජාතික කළුගල් නිෂ්පාදකයින්ගේ සංගමය හා හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අතර සාකච්ජාවක් අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

ජාතික කළුගල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සුමින්ද සේනාධීර මහතා ඇතුළු එම සංගමයේ නියෝජිත පිරිසක් මන්ත්‍රීතුමන් සමඟ මෙලෙස සාකච්ජාවට පැමිණ පෙන්වා දුන්නේ, කළුගල් සඳහා රජයේ ආදායම අතහැරීම සම්බන්ධව වැරදි නිර්නායක ඉදිරිපත් කරමින් ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් මගින් යල් පැණ ගිය අණ-පනත් පෙන්වමින් මුදල් අය කරන බවයි.

කිසිම අවස්ථාවක තම සංගමයේ සාමාජිකයින් වන කළුගල් නිෂ්පාදකයින් රජයේ ආදායම් ගෙවීම් පැහැර හැර නොමැති බවත්, නිසි ලෙස බලපත්‍ර ලබා ගෙන තම කර්මාන්ත සිදු කර ගෙන යන බවද ඔවුන් පැවසීය.

මාර්ග ඉදි කිරීම්, ගොඩනැගිලි ඇතුළු නව ඉදිරිකිරීම් සඳහා කළුගල්, මැටල් ආදිය අත්‍යවශ්‍ය මොහොතක් වන මේ මොහොතේ ඇතැම් නිළධාරීන් මෙලෙස කටයුතු කිරීම මගින් කර්මාන්තකරුවන් මෙන්ම ඉදිකිරීම් කරුවන්ද අසරණ වන බව ඔවුන් පෙන්වා දුන්හ.කළුගල් කර්මාන්තකරුවන්ට සිදුවන මෙම අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින ලෙස ඔවුන් එහිදී දුමින්ද දිසානායක අමාත්‍යයතුමන්ගෙන් ඉල්ලා සිටියහ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යයතුමන් ඇතුළු අදාළ අමාත්‍යයවරුන් හා නිළධාරීන් සමඟ විශේෂ සාකච්ජාවක් කඩිනමින් ලබා දීමට අවශය කටයුතු කර දෙන බවට කර්මාන්තකරුවන්ට දුමින්ද දිසානායක මහතා පොරොන්දු විය.

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *