ලෝක බැංකු සමූහයේ දේශීය කළමනාකරු ගෙවෝගර් සාගර්සයාන් මහතා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමක් අද (18) පෙරවරුවේ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා හමුවී කොළඹ වරායේ සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක නිරත විය. මෙහිදී කොළඹ වරාය සංවර්ධනය සඳහා වන නව මූල්‍ය ආකෘති, පෞද්ගලික අංශයේ සහභාගීත්වය, නැගෙනහිර බහාලුම් පර්යන්තය වෙනම ආයතනයක් ලෙස සංවර්ධනය කිරීම සහ වරාය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව දෙපාර්ශවයේ අවධානය යොමුව තිබේ. මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් ගෝලීය අවධානය කොළඹ වරාය වෙත යොමුව ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ලෝක බැංකු නියෝජිතයෝ මෙහිදී ඉල්ලා සිටියහ. බංගලාදේශයේ චිතගොං වරාය ජාත්‍යන්තර ක්‍රියාකරුවන්ගේ සහභාගීත්වයෙන් ලැබූ සාර්ථකත්වය ද ඔවුහු මෙහිදී උදාහරණ ලෙස පෙන්වා දුන්හ.
මේ අතර, ශ්‍රීලන්කන් ගුවන්සේවය සහ මෙරට ගුවන්සේවා ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රතිව්‍යුහගත කිරීම් මෙන්ම මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම ගුවන්සේවා කර්මාන්තයට බලපා ඇති ආකාරය පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය. මෙම ප්‍රතිසංස්කරණ සඳහා ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව (IFC) සමඟ ද සාකච්ඡා කරමින් සිටින බව සඳහන් විය. රජය ඉදිරියේදී වරාය හා ගුවන්සේවා ක්ෂේත්‍ර සඳහා වැදගත් ප්‍රතිපත්තිමය හා ආයතනික තීරණ කිහිපයක් ගැනීමට සූදානම් බවත්, එම තීරණ නිවැරදි මූල්‍ය ආකෘති, රාජ්‍ය-පෞද්ගලික සහයෝගීතාව සහ විනිවිදභාවය මත සිදුකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















