27 April 2024
#දේශීය

හෙද විදුහල්හි පවතින අඩුපාඩු කඩිනමින් සොයා බලා පහසුකම් ඉහලනංවන්න -සෞඛ්‍ය ඇමති

දිවයින පුරා සියලු හෙද විදුහල්හි පහසුකම් ඉහල නැංවීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල කඩිනමින් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව ඒවායේ මේ වන විට පවතින සියලු අඩුපාඩු හදුනාගනිමින් වාර්තාවක් තමා වෙත කඩිනමින් ලබාදෙන ලෙස අමාත්‍යවරයා විසින් මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබීය.

හෙද විදුහල්හි පවතින ගැටලු සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ පැවැත්වු සාකච්ජාවක දී මෙම උපදෙස් ලබාදුන් අතර ඒ අනුව දිවයින පුරා ක්‍රියාත්මක හෙද විදුහල් 17 ක පහසුකම් ඉහල නැංවෙන අතර ඒවායේ අඩුපාඩු ඉක්මනින් සොයා බලා ඒ සඳහා කඩිනම් හා දීර්ඝ කාලීන විසදුම් ලබා දීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය රඹුක්වැල්ල මහතා අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් මෙහිදී ඉල්ලා සිටියේය.

විශේෂයෙන් සෞඛ්‍ය සේවාවේ ඉහල කාර්යභාර්යක් ඉටු කරන හෙද කාර්ය මණ්ඩලයන්හි සියලු පුහුණුව හෙද විදුහල් මගින් ලබාදෙන හෙයින් ඒ සඳහා වැඩි අවධානයක් යොමු කිරීම අතිශය වැදගත් බව අමාත්‍යවරයා පැවසීය.

හෙද විදුහල්හි පවතින අඩුපාඩු පිළිබඳ වෙන වෙනම සොයා බැලීමටත් විශේෂයෙන් ඒවායේ යටිතල පහසුකම්, කාර්ය මණ්ඩල උපකරණ හිඟය වැනි කරුණු පිළිබඳව නිවැරදි තොරතුරු ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නේය.

2014 වර්ෂයේ දැයට කිරුළ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු මාතර / කළුතර හෙද විදුහල් වල නව ගොඩනැගිලි ඉදිකිරීම් නිම කිරීමට නොහැකි වී ඇති බව මෙහිදී අනාවරණය වු අතර කඩිනමින් එහි වැඩ අවසන් කර අධ්‍යන කටයුතු සඳහා මෙම ගොඩනැගිලි ලබා දෙන ලෙසට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

මෙයට අමතරව ගාල්ල හා මහනුවර හෙද විදුහල්හි ඉදිකිරීම් මෙන්ම ගොඩනැගිලි කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ජා කෙරුණු අතර ඒ පිළිබදවද වැඩි අවධානය යොමු කරන ලෙසට අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් හා හෙද විදුහල්හි විදුහල්පතිවරුන්, හෙද විදුහල් අනුබද්ධ රෝහල් වල අධ්‍යක්ෂවරුන් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වුහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *