ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා (Odisha) ප්‍රාන්තයේ භෝගරායි (Bhogarai) බලප්‍රදේශයට අයත් වනාන්තරයක අතහැර දමා ගොස් සිටි අතිශය දුර්ලභ ඔරංඔටං (Orangutan) පැටවුන් පස්දෙනෙකු සොයාගෙන තිබේ.
ඔරංඔටං යනු ඉන්දියාවට ආවේණික සතෙකු නොවන අතර, උන් ස්වාභාවිකව වාසය කරන්නේ ඉන්දුනීසියාව සහ මැලේසියාව යන රටවල නිවර්තන වැසි වනාන්තරවල ය. ජාත්‍යන්තර නීතිවිරෝධී වනජීවී ජාවාරම්කරුවන් විසින් ප්‍රවාහනය කරමින් සිටියදී මහා මාර්ගයට ආසන්න මෙම වනාන්තරයේ අතහැර දමන්නට ඇති බවට වනජීවී නිලධාරීන් සැක පහළ කරයි. ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත සොයාගත් මෙම පැටවුන්ට ප්‍රථමාධාර ලබාදීමෙන් අනතුරුව, භුවනේශ්වර් හි නන්දන්කානන් සත්වෝද්‍යානය වෙත ගෙන ගොස් නිරෝධායනයට ලක් කර ඇත. මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා ඉන්දීය වනජීවී අපරාධ පාලන කාර්යාංශයේ (WCCB) සහය ද ඉල්ලා තිබේ.














