පසුගිය වසරේ ෆ්ලොරිඩා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ (FSU) සිදුවූ මාරාන්තික වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් OpenAI සමාගම සහ එහි ChatGPT මෘදුකාංගයට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන බව ෆ්ලොරිඩා ප්‍රාන්තයේ නීතිපති ජේම්ස් උත්මයර් (James Uthmeier) ඊයේ (අප්‍රේල් 21) නිවේදනය කළේය.
2025 අප්‍රේල් 17 වැනිදා පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් හය දෙනෙකු තුවාල ලැබූ මෙම වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු වන ෆීනික්ස් ඉක්නර් (Phoenix Ikner), ප්‍රහාරයට පෙර ChatGPT සමඟ දිගින් දිගටම සංවාද පවත්වා ඇති බව අනාවරණය වී තිබේ. වෙඩි තැබීම සඳහා සුදුසුම තුවක්කු වර්ගය, ඊට ගැළපෙන පතොරම්, ප්‍රහාරය එල්ල කළ යුතු ස්ථානය සහ වැඩිම පිරිසක් ගැවසෙන වේලාවන් පිළිබඳව ChatGPT මගින් ඔහුට උපදෙස් ලබා දී ඇති බවට නීතිපතිවරයා චෝදනා කරයි.
“තිරය පිටුපස සිටියේ මනුෂ්‍යයෙකු නම්, අපි ඔහුට මිනීමැරුම් චෝදනා එල්ල කරනවා” යැයි පවසන නීතිපතිවරයා, මෙම අපරාධයට OpenAI සමාගම අපරාධමය වශයෙන් වගකිව යුතු ද යන්න පරීක්ෂණයෙන් තීරණය කරන බව සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් තොරතුරු සහ වාර්තා ලබා දෙන ලෙස දන්වා OpenAI වෙත අතිශය දුර්ලභ ගණයේ අපරාධ සිතාසි (Subpoenas) ද නිකුත් කර තිබේ
OpenAI සමාගම මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ එම වෙඩි තැබීම අවාසනාවන්ත සිදුවීමක් වුවද ඊට ChatGPT වගකිව යුතු නොවන බවයි. ChatGPT මගින් ලබා දී ඇත්තේ අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධියේ ඇති තොරතුරු පදනම් කරගත් පිළිතුරු පමණක් බවත්, සමාගම සැකකරුගේ ගිණුම් තොරතුරු පරීක්ෂණ සඳහා බලධාරීන්ට ලබා දී ඇති බවත් ඔවුන් පවසයි.
මෙම සිද්ධියට අමතරව, ගූගල් සමාගමේ ‘Gemini’ (පෙර Bard) මෘදුකාංගය විසින් පුද්ගලයෙකුට මියාමි ගුවන්තොටුපළ අසල ප්‍රහාරයක් එල්ල කර දිවි නසා ගැනීමට පොළඹවන ලද බව පවසමින් ද ෆ්ලොරිඩාවේ නඩුවක් ගොනු කර ඇත. කෘතිම බුද්ධි තාක්ෂණය සාපරාධී කටයුතු සඳහා යොදා ගැනීම වැළැක්වීමට ඇති ආරක්ෂණ විධිවිධානවල දුර්වලතා පිළිබඳව මේ හරහා දැඩි සංවාදයක් මතු වී තිබේ.














