ශ්‍රී ලංකාවේ ජාතික නිල දරිද්‍රතා සීමාව පසුගිය ජූලි මාසයේදී එක් පුද්ගලයෙකු සඳහා මසකට රුපියල් 17,679ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත පෙන්වා දෙයි. ජූනි මාසයේදී රුපියල් 17,592ක් ලෙස පැවති එම සීමාව ජූලි මාසයේදී රුපියල් 87කින් හෙවත් 0.5%කින් ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය වසරේ ජූලි මාසයේ පැවති රුපියල් 16,484ට සාපේක්ෂව රුපියල් 1,195කින් (7.2%) වැඩි වීමකි.
දිස්ත්‍රික් මට්ටමින් ඉහළම නිල දරිද්‍රතා සීමාව කොළඹ දිස්ත්‍රික්කයෙන් (රු. 19,067ක්) වාර්තා වන අතර, ගම්පහ (රු. 18,969ක්) සහ නුවරඑළිය (රු. 18,592ක්) ඒ අතර මුල් තැන ගනී. අඩුම දරිද්‍රතා සීමාව මොනරාගල දිස්ත්‍රික්කයෙන් (රු. 16,904ක්) වාර්තා වන අතර, කිලිනොච්චි (රු. 17,080ක්) සහ හම්බන්තොට (රු. 17,177ක්) දිස්ත්‍රික්කවලද එම අගය අඩු මට්ටමක පවතී. ජාතික පාරිභෝගික මිල දර්ශකය ඉහළ යාමත් සමඟ මෙම දරිද්‍රතා සීමාව ඉහළ ගොස් ඇති අතර, මෙය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා එක් පුද්ගලයෙකුට අවශ්‍ය අවම වියදම නියෝජනය කරන සංඛ්‍යාලේඛනමය සීමාවක් පමණක් බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.














