ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන් විසින් මෙරටට එවන ලද විදේශ ප්‍රේෂණ ප්‍රමාණය මැයි මාසයේදී 32%කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. මෙම ප්‍රමාණය රුපියල් කෝටි 27,950ක් (ඇමරිකානු ඩොලර් මිලියන 847ක්) වන අතර, එය ඉතිහාසයේ එක් මාසයකදී වාර්තා වූ දෙවනියට වැඩිම විදේශ විනිමය ප්‍රේෂණ අගයයි.
2026 වසරේ මැයි මාසය දක්වා විදේශ ප්‍රේෂණ ලැබීම්වල ප්‍රගතිය පිළිබඳ දත්ත පහත පරිදි දැක්වේ.
2026 වසරේ මුල් මාස 5 තුළදී මෙරටට ලැබී ඇති සමස්ත විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.9කි. 2025 වසරේ මුල් මාස 5 තුළ ලැබුණු ඇමරිකානු ඩොලර් බිලියන 3.10ක ප්‍රමාණය හා සැසඳීමේදී මෙය 26%ක කැපී පෙනෙන වර්ධනයකි. 2025 වසරේ මැයි මාසයේදී වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 641.7ක ප්‍රේෂණ ප්‍රමාණයට සාපේක්ෂව මේ වසරේ මැයි මාසයේ වාර්තා වී ඇති 32%ක වර්ධනය අතිශය වැදගත් වේ.
මෙම වසරේ මේ දක්වා වැඩිම විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙනි. 2026 වසරේ ජනවාරි සිට මැයි මාසය දක්වා පුද්ගලයන් 100,686ක් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර, ඉන් වැඩිම පිරිසක් වන 21,977ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවල නිරත වේ.
ශ්‍රී ලංකා රජය විසින් අනුගමනය කරනු ලබන විදේශ ප්‍රතිපත්ති, විදේශ රටවල් සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුම්, පුහුණු ශ්‍රමිකයන් සඳහා නව රැකියා වෙළඳපොළවල් හඳුන්වා දීම සහ විදේශ ශ්‍රමිකයන් සඳහා ක්‍රියාත්මක කර ඇති මූල්‍ය ණය යෝජනා ක්‍රම වැනි වැඩපිළිවෙළ මෙම වර්ධනයට මූලික හේතු වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.
















