පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හෝ රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කර ඇති රිට් පෙත්සම විභාග කරන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලෙන් විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉවත් වී තිබේ.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදී විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා තමන් පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව දැනුම් දුන්නේය. ඒ අනුව, මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු සරත් දිසානායක මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ අද (18) යළි සලකා බැලීමට නියමිතය.
පෙත්සම්කරු විසින් සිය පෙත්සම මගින් ඉදිරිපත් කර ඇති ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ:
‘චැනල් ෆෝ’ (Channel 4) නාළිකාවෙන් හෙළි කළ තොරතුරු මත පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමේ සහ රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කිරීමේ අවදානමක් ඇති බව පෙත්සම්කරු පෙන්වා දෙයි. තවද, තමන් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ සිද්ධියක් මත අත්අඩංගුවට පත්ව තිබූ අයෙකු බවත්, පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම ඔහුට එරෙහිව නිර්දේශ කර ඇති බවත් පවසමින්, ඔහුගෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් බලාපොරොත්තු විය නොහැකි බව පෙත්සම්කරු සඳහන් කරයි.
පාස්කු ප්‍රහාරයට තමන් සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නොමැතිව තමන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවත්, එය ස්වාභාවික යුක්තියේ මූලධර්ම කඩ කිරීමක් බවත් පෙත්සම්කරු අවධාරණය කරයි. එමෙන්ම, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව නිකුත් කළ වාර්තාව සහ ඊට අදාළ ලියකියවිලි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කරන ලෙසද ඔහු ඉල්ලා සිටී.
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන අලි සබීර් සහ රොමේෂ් ද සිල්වා මහත්වරු පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ස්වර්ෂි හේරත් මහත්මිය පෙනී සිටියාය.
















