දෙමලිය – වන්දම – කුඩාඔය අලි නිජබිමට සහ අලිමංකඩට අයත් ඉඩම් ව්‍යාපාරිකයන්ට ලබාදීම සඳහා කිසිදු ඉල්ලීමක් තමන් වෙත ලැබී නොමැති බව වන සංරක්ෂක ජනරාල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.එස්.සී. පාලම්කුඹුර මහතා පවසයි. අදාළ ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් බවත්, දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව කිසිදු තීරණයක් ගැනීමට හැකියාවක් නොමැති බවත් ඒ මහතා අවධාරණය කරයි.
ජාතික ජන බලවේගය නියෝජනය කරන මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරි ගංගානි සහ වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපති වලිමුණිගේ නිහාල් යන මහත්ම මහත්මීන් රජයේ වනාන්තර ලෙස නම් කර ඇති ඉඩම් අක්කර 250ක් ව්‍යාපාරිකයන්ට ලබාදීමට කටයුතු කරන බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පැන නැගී ඇති මතභේද හමුවේ ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මේ පිළිබඳව අදහස් දක්වමින් පරිසර අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කළේ, හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා විසින් මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම වනාන්තර ඉඩම් ව්‍යාපාරිකයන්ට ලබාදීමට උත්සාහ කළද, වර්තමාන රජය එවැනි අත්තනෝමතික ක්‍රියාමාර්ග අලි මංකඩවලට එරෙහිව සිදු නොකරන බවයි.
















