ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධ මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවීම ඊයේ (12) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ පැය දෙකකට අධික කාලයක් පුරා සිදු කෙරිණි. මෙහිදී මියගිය චන්ද්‍රසේන මහතාගේ බිරිඳගේ සහෝදරිය වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක මහත්මිය සහ ඇයගේ සැමියා වන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ මෙම මරණය සම්බන්ධයෙන් තමන්ට කිසිදු සැකයක් නොමැති බවයි.
සාක්ෂි ලබා දෙමින් අරවින්ද ද සිල්වා මහතා ප්‍රකාශ කළේ චන්ද්‍රසේන මහතා මිය යාමට පෙර දින රාත්‍රියේ තමා සමඟ කතා කරමින් “මම එළියට ඇවිල්ලා දවසක් යන්න කලින් මාව ආපහු ඇතුළට දාන්න යනවා” යනුවෙන් දෙවතාවක් පැවසූ බවයි. පසුගිය මැයි 5 හෝ 6 වනදා ඇප ලබා පැමිණි ඔහු කෙලින්ම පැමිණ ඇත්තේ අරවින්ද ද සිල්වා මහතාගේ නිවසට වන අතර එහිදී ඔහු දැඩි මානසික ආතතියකින් (Stress) පසු වූ බව සාක්ෂිකරුවන් පෙන්වා දුන්හ. මරණය සිදුවූ දින උදෑසන දොර විවෘත නොකිරීම නිසා මාස්ටර් කී (Master Key) එකක් භාවිත කර දොර විවෘත කළ අවස්ථාවේ ඔහු කාමරයේ වැටී සිටිනු දුටු බව ද ඔවුහු පැවසූහ.
කොළඹ අපරාධ කොට්ඨාසය මෙම මරණය සම්බන්ධයෙන් පංච පුද්ගල වෛද්‍ය මඬුල්ලක් සිදු කළ පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කළේය. චන්ද්‍රසේන මහතා සතු වූ ඇපල් (Apple) වර්ගයේ ජංගම දුරකතනය මුහුණ හඳුනාගැනීමේ මුරපදයකින් (Face ID) ආරක්ෂා කර ඇති බැවින්, මෘත දේහයේ මුහුණ භාවිත කර එය විවෘත කිරීමට උත්සාහ කළ ද එය අසාර්ථක වී ඇත. මේ හේතුවෙන් එම දුරකතනය එහි මවු සමාගම වෙත යවා පරීක්ෂා කිරීමටත්, මරණකරුගේ බැංකු කාඩ්පත් අක්‍රිය කර දුරකතන දත්ත වාර්තා කැඳවීමටත් පොලිසිය කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය. එසේම මරණකරු ඇඳ සිටි ඇඳුම්, රුධිර සාම්පල සහ කාමරයේ තිබූ ඖෂධ වර්ග රස පරීක්ෂක වෙත යොමු කරන ලෙස ද නියෝග කෙරිණි.














