කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට (20) දිනය සඳහා දැඩි උණුසුම් කාලගුණයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
නැගෙනහිර පළාතට සහ කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, පොළොන්නරුව සහ මොණරාගලා දිස්ත්‍රික්කවලට මෙම උණුසුම් කාලගුණ තත්ත්වය බලපානු ඇත.
වායු උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය එකතුවී දැනෙන උෂ්ණත්වය (Heat Index) ඇතැම් ප්‍රදේශවලදී ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමකට ළඟා විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම කාලගුණික තත්ත්වය හේතුවෙන් විශේෂයෙන්ම අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සඳහා සෞඛ්‍ය ගැටලු ඇති විය හැකිය.
මෙම උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා වීමට පහත පියවර අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ප්‍රමාණවත් පරිදි ජලය පානය කර ශරීරයේ ජල මට්ටම පවත්වා ගන්න. හැකි සෑම විටම සෙවණ ඇති හෝ සිසිල් ස්ථානවල විවේක ගන්න. දවසේ උණුසුම වැඩිම පැය කිහිපය තුළ දැඩි ශාරීරික වෙහෙස මහන්සි වී කරන ක්‍රියාකාරකම් සීමා කරන්න. සැහැල්ලු පැහැති, ඇඟට පහසු ඇඳුම් අඳින්න. වැඩිහිටියන් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න. කුඩා දරුවන් කිසිවිටෙකත් නවතා ඇති වාහන තුළ තනිවම තබා නොයන්න.
















